GotaGoGama

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ ප්‍රතිරෝධය: නියන්තිනී කදිරගාමර් සමග සම්මුඛ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ පවතින තත්වය ගැන ආර්ථික යුක්තිය සඳහා ස්ත්‍රීවාදී සාමූහිකයේ සාමාජිකාවක් වන නියන්තිනී කදිරගාමර් සමග අපි ගිය මාසයේ හමු වුනෙමු. පහත සාකච්ඡාව පැහැදිලිතාවය සඳහා සාරාංශ ගත කර, සංස්කරණය කර ඇත. (English)


ශ්‍රී ලංකාවේ දැන් තත්වය ඔබ විස්තර කරන්නෙ කොහොමද? අර්බුදයේ මේ අදියරට රට ආවේ කොහොමද?

ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුම ආර්ථික කඩාවැටීම හරහා යමින් සිටිනවා. බිම් මට්ටමේ මිනිස්සු ගොඩක් අමාරුකම් අත් විඳිනවා. කෑම ද්‍රව්‍ය හිඟයි. ඉන්ධන සඳහා දිගු පෝලිම් තියෙනවා. මාස කිහිපයක් තිස්සෙ නිතර විදුලිය කපනවා. අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ ගිහින් තියෙනවා, බොහෝ දෙනෙකුට ආදායම් අහිමි වෙලා. ආහාර සහ පෝෂණය සම්බන්ධ තත්වයෙ දි 70%ක් පමණ දෙනා සමහර ආහාර වේල් මඟ හරිනවා, නැත්නම් පරිභෝජනය කරන ආහාර ප්‍රමාණය අඩු කරලා. සෑම ළමයි දෙදෙනෙකුගෙන් එක් අයෙකුට වහා උදව් අවශ්‍ය යැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) අනතුරු අඟවා තියෙනවා.

මේ තැනට අපි ආපු එකට හේතු කිහිපයක් බලපෑවා. 2020 මුල් කාලයේ මෙහෙම වෙන බවට ලකුණු මතු වුනත්, වත්මන් ආණ්ඩුව අර්බුදය නොසලකා හැරියා, ඒක ආමන්ත්‍රණය කරන්න මොකුත්ම කළේ නැහැ. ඒ වෙනුවට, අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය කිරීම කළා,  වෙළෙඳ ව්‍යාපාරවලට සහ පොහොසතුන්ට බදු සහන ලබා දුන්නා, 2021 අප්‍රේල් මාසයේ සිට පැනවූ අමෝනඥ පොහොර තහනම නිසා ආහාර සැපයුමට බලපෑම් සිදු වුනා. ශ්‍රී ලංකාව දැන් තමන්ගේ විදේශ ණය පියවීමේ වගකීම් සියල්ල කඩ කර තිබෙනවා. ශ්‍රී ලංකාව තමන්ගේ විදේශ ණයවලින් 40%ක් අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර වෙළෙඳපොලවලින් ලබා ගෙන තිබෙනවා. ආනයන සහ ණය ගෙවීමට රටේ අවශ්‍ය ඩොලර් සංචිත තවදුරටත් නැහැ.

1970 දශකයේ පසු භාගයේ පටන් දිගු කාලයක් තිස්සේ අනුගමනය කළ නව ලිබරල්වාදී ප්‍රතිපත්ති සහිත ගමන් පථයත්, නිදහස් වෙළෙඳපොල ප්‍රතිපත්තියත් ඉන් ඇති වූ විශාල වෙළෙඳ හිඟයත් ඇතුළු කාරණා මේ අර්බුදයට හේතු වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය බොහෝ දුරට රඳා පවතින්නේ  විදේශ සංචිත සඳහා ස්ත්‍රී ශ්‍රමය ප්‍රධාන අංශ තුනක දී සූරා කෑමට ලක් කිරීම හරහායි. එනම් – තේ අපනයන, නිමි ඇඳුම් නිෂ්පාදනය සහ සංක්‍රමණික ගෘහස්ථ සේවකයන්ගේ ප්‍රේෂණ යන ඒවායි. පශ්චාත්-යුද සමයේ දී ලැබුනු ආදායම්වලින් සහ ණයට ගැනීම්වලින් රජය කළේ මොනවාද? ඒවා අති විශාල යටිතල පහසුකම් ව්‍යාපෘති – වරාය, ගුවන් තොටුපොල, සහ අධිවේගී මාර්ග තැනීමට වියදම් කළා. ඒවා රැකියා උත්පාදනය හෝ ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය වීමක් බවට පරිවර්තනය වුනේ නැහැ. දිගු කලක් තිස්සේ කෘෂිකාර්මික අංශය නොසලකා හැරීමට ලක් කර තියෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සමාජ සුබසාධනයන්ට ආයෝජනයන් අඩු වී තියෙනවා. ඉතින්, වර්තමාන අර්බුදය ප්‍රතිපත්ති සම්පාදනයේ නවලිබරල් ගමන් පථයට, විදේශ ණය මත යැපීමට, ඒ වාගේම රජයේ මෑත කාලීන වැරදි රාජ්‍ය ප්‍රතිපත්තිවලට පැවරිය හැකිය කියා මම හිතනවා.

ආර්ථික යුක්තිය සඳහා ස්ත්‍රීවාදී සාමූහිකයේ කොටසක් ලෙස ඔබ ශ්‍රී ලංකාවේ දිග හැරෙන මානුෂීය අර්බුදයට ස්ත්‍රීවාදී ප්‍රතිචාරයක් මැයෙන් ලිපියක් සාමූහිකව ලිව්වා. එහි ලංකාවේ ආර්ථික තත්වය සහ එහි මානව බලපෑම් ගැන ඇගයීමක් ඉදිරිපත් කර, ස්ත්‍රීවාදී ආර්ථික සහ දේශපාලන විශ්ලේෂණයක අවශ්‍යතාවය උදෙසා තර්ක කරනවා. අනතුරුව සාමූහික ක්‍රියාමාර්ග සඳහා අදහස් කිහිපයක් ඉදිරිපත් කරමින් එම ලිපිය අවසන් කෙරෙනවා. වත්මන් ව්‍යාපාරයේ මේ අදහස් කිසිවක් ක්‍රියාවට නැගෙනවා ඔබ දකිනවාද?

ඒ වෙන විට අනෙකුත් අය කර තිබුනු විශ්ලේෂණ තුළ මිනිස්සු මුහුණ පාන අමාරු තත්වය, ආර්ථිකයට කාන්තාවන්ගේ දායකත්වය, සහ අර්බුදය හමුවේ වැඩ කරන පන්තියේ ජනතාව සමග කාන්තාවන් විශේෂයෙන් මුහුණ දෙන අධික අපහසුතා පිළිඹිඹු වූයේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය මඟින්, ණය ලබා ගැනීම සහ නැවත අන්තර්ජාතික වෙළෙඳපොලට ප්‍රවේශ වීමත්, ඒ තුළින් තවත් ණය ලබා ගැනීම සිදු කිරීමත් ආණ්ඩුවේ ප්‍රතිචාරය වුණා. එයින් තවත් ජනතාවට බරපැන පැටවෙන වැඩසටහනක් හරහා, වැඩ කරන ජනතාවට සහ කාන්තාවන්ට කරුණු කාරණා අමාරු වීම සිදු වෙනු ඇති. අප කළ ප්‍රකාශනය තුළින් එම කරුණු අවධාරණය කර, රජය විසින් ආදායම් සොයා ගෙන සිදු කළ යුතු ආහාර බෙදා හැරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම ඇතුළු යෝජනා අටක් ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාවේ පසුගාමී බදු ක්‍රමයක් පවතින නිසා, ධනය මත පදනම් වෙන බදු ක්‍රමයක් සහ දැනට පවතින සමාජ ආරක්ෂණ වැඩසටහන් පුළුල් කිරීම එහි දී යෝජනා කළා. මේ කිසිවක් දැනට ක්‍රියාත්මක කරලා නැහැ.  

අවාසනාවත්න ලෙස, රජය තවමත් හිතන්නේ ඉදිරියට යෑමට ඇති එකම ක්‍රමය ජනතාවට බර පැන පැටවෙන ප්‍රතිපත්තිය බවයි. අපි දැනට මුහුණ පාන උද්ධමනය අධික බඩු මිල නිසා සිදු වෙන්නක් වුවත්, ඔවුන් උද්ධමනය පාලනය කිරීමට පොලී අනුපාත දෙගුණයක් කළා. රටට විදේශ ප්‍රේෂණ එවීම දිරිමත් කිරීමේ බලාපොරොත්තුවෙන් රුපියල පාවෙන්නට දුන්නා. නමුත් ප්‍රේෂණවල එවැනි විශාල වැඩි වීමක් අපි දැක්කෙ නැහැ. එසේම ඔවුන් බොහෝ ක්ෂේත්‍රවලට මහජන වියදම් නවතා තියෙනවා. සෞඛ්‍යය, අධ්‍යාපනය සහ බොහෝ වෙනත් අත්‍යවශ්‍ය සේවා ඇතුළත් වන, මහජන සේවා අංශය සතියකට වැඩ කරන දවස් ගණන හතරකට අඩු කරන බව රජය ඊයේ නිවේදනය කළා. ඉතින් අප දැක්කේ, අප යෝජනා කළ දිශානතියට විරුද්ධ පැත්තකට රජය කටයුතු කරන බවයි.    

කොහොම වුවත්, පුළු පුළුවන් විදියට එකිනෙකාට සහයෝගය ලබා දෙන්න උත්සාහ කරමින්, ජනතාව බිම් මට්ටමේ සංවිධාන ගත වෙනවා. විවිධ ස්ථානවල ප්‍රජා කුස්සි හදමින් තියෙනවා, කුඩා කණ්ඩායම් වශයෙන් ඉගැන්වීම් වැඩසටහන් සිදු වෙනවා. ජනතාවට මේ වගේ බරපතල අර්බුදයකට මුහුණ දිය හැකි එකම ආකාරය මෙයයි.

ප්‍රකාශනයේ, එක් අතකින් ඔබ ආහාර ස්වෛරීත්වය ගැනත්, ඒ වගේම රජයේ ආධාර සහ සමෘද්ධි ක්‍රමය වැනි සමාජ සේවා පුළුල් කිරීම ගැනත් අනික් අතට කතා කරනවා. සුබසාධන රාජ්‍යය මත යැපීම සහ ස්වයං-නිර්ණය යන දෙක තුලනය කිරීම ඔබ දකින්නෙ කොහොමද?   

ඒක හොඳ ප්‍රශ්නයක්. අර්බුදය සමයේ, රජය ආර්ථිකය උත්තේජනය කිරීමට, ආර්ථිකයේ ආයෝජනය කිරීමට සහ සමාජ සුබ සාධනය තහවුරු කිරීමට ඇති තමන්ගේ වගකීම් මග හැරිය නොයුතුයි. ආදායම් බෙදී යාම (ප්‍රතිව්‍යාප්තිය) සිදු කරන ක්‍රමයක් විදියට, රජය ධන බද්දක් ඇතුළුව, සෘජු බදු වැඩි කළ යුතුයි. සමෘද්ධිය ප්‍රධාන සමාජ ආරක්ෂණ වැඩසටහනයි. ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගෙන් 80%ක් අවිධිමත් අංශයේ සහ දෛනික වැටුප් උපයන්නන් ලෙස වැඩ කරනවා. ඔවුන්ට ලැබෙන එකම තහවුරු කළ ආදායම වෙන්නේ සමෘද්ධිය හරහා ලැබෙන මුදල විතරයි – ඔවුන්ට ඒක ඉතා වැදගත් එකක්. කෙසේ වුවත්, මිනිස්සුන්ට අවශ්‍ය වෙන විදියට ඒක සමාජ ආරක්ෂණ වැඩසටහනක් වෙනවාට වඩා, දුප්පත්කම තුරන් කිරීමේ ආවුදයක් විදියට එය පරිකල්පනය වීම සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා.

කලින් කිව්වා වගේම, හදිසියේ රසායනික පොහොර තහනමක් ගෙන ඒම නිසා, පසුගිය කන්නයේ අස්වැන්න 50%කින් අඩු වෙලා තියෙනවා. ඊළග කන්නයේ වගා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ගොවීන්ගෙන් 20%ක් පමණයි. පොහොරවල මිල අහස උසට නැගලා තියෙන නිසා, ඒ මිල දරන්න ගොවීන්ට බැහැ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන්න රජයට ඩොලර් නැති නිසා අපි ඉන්නේ අතිශය දුෂ්කර තත්වයකයි. ඒ අතරම, දේශීය ආහාර පද්ධතිය මෙහි බලපෑමෙන් ඉතා නරක තත්වයකට වැටිලා.  

අපි ආහාර ස්වෛරීභාවය යන්නෙන් අදහස් කළේ, එවැනි තීරණ සමග පවා, ආණ්ඩුව ගොවීන්ගේ අදහස් ලබා ගෙන, මේ තරම් තදබල විදියට ආහාර පද්ධතිය කඩාකප්පල් නොවෙන විදියට යම් සැලසුමක් හැදුවා නම්, හොඳයි කියන එකයි. කෘෂිකාර්මික ප්‍රතිපත්ති පැත්තෙන්, වසර ගණනාවක් තිස්සෙ නොසලකා හැරීම නිසා ආහාර පද්ධතියෙ බොහෝ දේවල් ඇත්ත වශයෙන්ම විනාශ වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවෙ ගොවීන්ට සහ ඒ වගේම ධීවරයන්ට කෘෂිකාර්මික සහනාධාර ලබා දීමේ ඉතිහාසයක් තියෙනවා. 1953 දී රජයෙන් සහනාධාර නවත්තපු වෙලාවෙ, මහා වැඩ වර්ජනයක් තිබුනා. ඒ වෙලාවෙ මිනිස්සු හම්බ වෙන්න යන්න පවා දේශපාලනඥයො බය වුනු නිසා, රැස්වීම තිබුනෙ මුහුදෙ නැවක් ඇතුළෙයි. පොහොර සහනාධාර සම්බන්ධයෙන් ඊට සමාන බිඳ වැටීමක් දැන් අපි දකිනවා. පසුගිය මාස කිහිපයේ, 1950 ගණන්වලට පසුව මේ රටේ සිදුවූ මහා වැඩ වර්ජන සමහරක් අපි දැක්කා.

ඔබේ සාමුහික ප්‍රකාශනයේ ලියවෙන විදියට, බිම් මට්ටමට අපේ සවන් යොමු කරමු. ගුරුවරුන්ගෙ, ගොවීන්ගේ, කම්හල් සේවකයන්ගෙ, ධීවරයන්ගේ, ආදී ලෙස විරෝධතා සහ වැඩ වර්ජන, සහ විරෝධතා භූමි, හෝ රට පුරා තිබුනු ගෝඨාගෝගම් මෙතෙක් අපි දැක්කා. විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් මොනවාද?

විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වෙන්නේ ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීම සහ රජයේ ප්‍රධාන තනතුරු දරන රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ද දේශපාලනයෙන් ඉවත් වීමයි. මෙය සියලු දෙනා එක්සත් කරන එකම ඉල්ලීමයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන සහයෝගයත් තියෙනවා.

නැවතත් මම හිතන්නෙ විරෝධතා දෙස දීර්ඝ කාලීන ලෙස බැලිය යුතුයි. පසුගිය මාස කිහිපයේ, කොළඹ සහ රට පුරා විවිධ ප්‍රදේශවල ගෝඨාගෝගමවල විරෝධතා භූමි අපි දුටුවා. ගිය අවුරුද්දේ, පොහොර තහනම ගෙන ආපු වෙලාවේ ගොවියෝ විරෝධතාවල නියැලුනා. වැටුප් ගැටළු නිවැරදි කරන්නැයි ඉල්ලමින් විශාල ගුරු වැඩ වර්ජනයක් ද සිදු වුනා. ශිෂ්‍යයන්, කම්කරු සංගම් සහ වැඩ කරන පන්තියේ විවිධ කොටස්වලින් විරෝධතා සිදු කළ ඉතිහාසයක් අපිට තියෙනවා. මෙතැනදී වුනේ රටේ විවිධ පැතිවල දේශපාලන කාරණා ඇතුළුව විවිධ කාරණා සම්බන්ධයෙන් කළ ඒ බොහෝ විරෝධතා කූටප්‍රාප්ත වීමයි. උදාහරණයක් විදියට උතුරේ, හමුදාකරණය නවත්තන්න, හමුදාවෙන් අල්ලා ගත් ඉඩම් නැවත ජනතාවට ලබා දෙන ලෙස ඉල්ලීම්, ඉන්දියානු ධීවරයන්ගේ ට්‍රෝලර් යාත්‍රාවලින් බලපෑමට ලක් වූ ධීවර විරෝධතා ආදිය තිබුනා. බොහෝ වෙනස් විරෝධතා තිබුන නිසා, මිනිස්සුන්ගේ ඉල්ලීමුත් විවිධයි. ඒ සියල්ලටම ආර්ථික කාරණා ප්‍රධානයි.  

පැහැදිලිවම මේ අරගල ඒකාකාරමය නොවන බව කියන එක හොඳයි. මේ සිදුවෙමින් පවතින අරගලයේ සංයුතිය ඔබට තව මොනවා කියන්න පුළුවන්ද? ජනවර්ගය, ආගම, පන්තිය, කුලය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සහ ලිංගිකත්වය වගේ පැතිවලින් බැලුවම මොන ආකාරයේ අන්තර්ඡේදනයන් සහ පරස්පරතා නිරීක්ෂණය කරන්න පුළුවන්ද? එයින් මඟ හැරෙන්නේ කවුද?

ශ්‍රී ලංකා ඉතිහාසයේ, මාර්තු මාසයේ සිට තවමත් සිදු වෙන මේ විරෝධතා පෙර නොවූ විරූ ඒවායි. ධනවත් අසල්වැසියන් සිටින ප්‍රදේශවලින් එන කොළඹ මධ්‍යම පන්තිය ඇතුළුව, සමාජයේ සියලුම පාර්ශ්ව එකතු වූ අවස්ථාවක් බවට මෙය පත් වුනා.

අරගල භූමිවල, විවිධ සංවාද සිදු වෙනවා. ඒ අතර වත්මන් රජය ගැන විවේචනාත්මක පිරිස් ඉන්නවා, පසුගිය දශක කිහිපය ඇතුළත තමන්ට සිදු කළ හානිය පිළි ගෙන සහ ඒ ගැන වැඩි වැඩියෙන් සාකච්ඡා අවශ්‍ය යැයි කියන දෙමළ වැනි සුළුතර කණ්ඩායම් ඉන්නවා. පශ්චාත් යුද සමයේ, ප්‍රහාරවලට ලක් වූ මුස්ලිම් ජනයා සිටිනවා. කොවිඩ්19 වසංගතය කාලයේ දී කොවිඩ් නිසා මිය ගිය අය බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියක් රජය ක්‍රියාත්මක කළ වෙලාවෙත් මෙය සිදු වුනා. මුස්ලිම් ජනයා, උපවාස කාලයේ, විරෝධතාවලට ඇවිත්, උපවාසය අවසන් කළේ විරෝධතා භූමියේමයි.     

විරෝධතා ඉතා නිර්මාණශීලි ඒවායි. ඒවා විශාල වශයෙන් අවිහිංසාමය ක්‍රමවලින් රජයට සිය පණිවුඩය සන්නිවේදනය කළා. ඒ වගේම විවිධත්වය සම්බන්ධයෙන් ගත්තම, ආබාධිත පුද්ගලයන් සංඥා භාෂාවෙන් කතා පවත්වමින්, ඒවා පරිවර්තනය කරමින්, එල්ජීබීටීකිවු ප්‍රජාව, අතුරුදහන් වූවන්ගේ පවුල්, තමන්ට බලපාන ප්‍රශ්න සම්බන්ධයෙන් හඬ නගමින් ඒවාට සහභාගි වුනා. පරස්පරතාත් තිබුනා – පොලිසියට සහ හමුදාවට සුබ පතන මිනිස්සු ඉන්න අතරෙ, ඒ සුබපැතුම් ඇසූ අනික් අය ඒ ගැන ඉතා කනස්සල්ලට පත් වුනා.   

විවිධ ජන කණ්ඩායම් සමග සංවාදයේ යෙදීමට, වාද විවාද කිරීමට, සිතීමට, තමන් ගැන ප්‍රකාශනය කිරීමට මේ අවකාශයන් මිනිස්සුන්ට ඉඩ දුන්නා. අපි ඉක්මනින් ජයග්‍රහණ ලැබුවා හෝ නොලැබුවා වුවත්, ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රජාතන්ත්‍රවාදය ගැන හිතන කොට, මේ දේවල් වඩා අත්‍යවශ්‍ය වෙන බව කොහොම නමුත් පේනවා.

2022, මැයි 9 වෙනිදා සිදු වුනේ මොනවාද? එදා සිදුවුනු දේවල් ගැන ටිකක් විස්තර කරලා කියන්න පුළුවන්ද? රාජපක්ෂලාගෙ මහගෙදර ඇතුළුව අනෙක් මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තබන්න හේතු වුනේ මොනවාද? 

එවකට සිටි අගමැති, වත්මන් ජනාධිපතිගේ සොහොයුරු මහින්ද රාජපක්ෂ තමන්ගේ පාක්ෂිකයන්ට කොළඹ තමන්ගේ නිල නිවසට ආරාධනා කිරීමෙන්, සහ එහි රැස්වීමෙන් පසුව ඒ අය කොළඹ ගාලු මුවදොර ප්‍රධාන ගෝඨාගෝගම භූමියේ සිටි අය ඇතුළු විරෝධතාකරුවන්ට ප්‍රචණ්ඩ ලෙස පහර දීමට යාමෙන් මෙය පටන් ගත්තා. කැරලි මර්දන පොලිසිය එතැන හිටියත්, සෙනග පාලනය කිරීමට ඔවුන් අපොහොසත් වුනා. මිනිස්සු ඇවිස්ස වීමට ඇතැම් රජයේ ඇමැතිවරු සම්බන්ධ වී සිටි බව අපි දැන් දන්නවා. ඒ දවසේ සිදු වූ දේ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම හිටපු අගමැතිතුමා ගත යුතුයි. මාස ගණනක් තිස්සේ බොහෝ දුරට අවිහිංසාවාදී විරෝධතාවයක් විදියට තිබූ වටපිටාව මේ ප්‍රහාරයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් කළා. ඒ සිද්ධියෙන් පසුව ඉතා ඉක්මනින් ප්‍රතිචාරයක් ලෙස ප්‍රචණ්ඩ ප්‍රතිප්‍රහාරයක් එල්ල වුනා. රාජපක්ෂ පවුලේ, ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරුන්ගේ, සහ ඔවුන්ට සම්බන්ධ දේපල සහ ව්‍යාපාර ඉලක්ක කර ගෙන දේපල ගිනිතැබීම් සිදු වුනා.         

ජෝර්ජ් ෆ්ලොයිඩ් සහ හොංකොංවල අරගල කාලවල් වැනි අවස්ථා ඇතුළුව, විරෝධතා සහ කැරලි සිදුවන කාලවල දී දේපල ප්‍රචණ්ඩත්වය සිදුවීම ගත්තම එයින් වෙන කිසිම දේකට සමාන කරන්න බැරි විදියට මතවාදයන් දෙපසට ධ්‍රැවීකරණය වීමට හේතු වෙනවා. මේ සිදුවීම්වලින් ජනතා මතයට සිදු වූ බලපෑම මොකක්ද?      

එය සිදු වුනේ අගමැති සහ ඔහුට සහයෝගය දුන් ඇමැතිවරු විසින් මුදා හරිනු ලැබූ චණ්ඩිකමට ප්‍රතිචාරයක් විදියටයි. මේ මට්ටමේ ප්‍රතිචාරයක් ලැබීම අපි සියල්ලන්ම පුදුමයට පත් කළා. මන්ත්‍රීවරයෙක් මරණයටත් පත් වුනා. බොහෝ විට, සුළුතර ජනයා ඉලක්ක කරනු ලැබූ මැර ප්‍රචණ්ඩත්වය ගැන ඉතිහාසයක් මේ රටේ අපිට තියෙනවා. 1983 කැරලි දෙමළ ජනයා ප්‍රහාරයට ලක් වූ ප්‍රධාන සිද්ධියක්. මෑත දී සිදු වූ මුස්ලිම්-විරෝධී කැරලි තියෙනවා. සම්පූර්ණ සිද්ධියම, පාලනයක් නැතිව යන්න පුලුවන් කියලා බය තිබුනත්, ඉතා ඉක්මනින් තත්වය පාලනය කරනු ලැබුවා. සිද්ධියෙන් පසුව, මැර ප්‍රචණ්ඩත්වයට ප්‍රවේශ විය යුතු ආකාරය සහ අවිහිංසාවාදී කණ්ඩායමක් එයට මුහුණ දෙන ආකාරය ගැන විරෝධතාකරුවන් අතර අදහස් ධ්‍රැවීකරණය වී තිබෙනවා.  

පොලිසිය සහ හමුදාවෙන් විරෝධතාකරුවන්ට සාහසික ලෙස පහර දුන් අවස්ථාවන්වලට අපි මුහුණ දුන්නා. මැයි 9ට පසුව, අරගලභූමියේ අවකාශය වෙනස් වීමත් සමග, වැඩි වශයෙන් එදිරිවාදීකම මතු වී, අරගල ව්‍යාපාරය දුර්වල වෙලා තියෙනවා. මම හිතන්නේ රජය විසින් ගත් පියවරත් එක්ක මෙය සිදු වී තිබෙන බවයි. මේ සිද්ධියට පසුව ඉතා ඉක්මනින්, රජය විසින් අලුත් අගමැතිවරයා විදියට පත් කළේ පසුගිය ඡන්දයේ දී එකදු ආසනයක් හෝ දිනා ගන්නට නොහැකි වූ පුද්ගලයකුයි. එය ජනතා අභිලාශවලට විරුද්ධව යෑමක් ලෙස දකිනු ලැබුවා. ජනතා ඇස් ඉදිරියේ සුජාතභාවය අහිමි වූ මර්දනකාරී ජනාධිපතිවරයකු සමග, නව ලිබරල්වාදී අගමැතිවරයෙක් පත් කිරීම මීට හේතු වුනා. විශේෂයෙන්ම නායකයන් අත්අඩංගුවට ගැනීම සහ මර්දනය නිසා එතැන් පටන් විරෝධතාවලට අභියෝගවලට මුහුණ පාන්නට සිදු වුනා.     

විරෝධතාකරුවන් සහ රජයේ පාක්ෂිකයන් සහ පොලිසිය අතර ගැටුම්, ප්‍රචණ්ඩ සහ ඇතැම් විට මරණීය ඒවා වූ බවට ඔබ සඳහන් කළා.  2019 හොංකොං විරෝධතාවල දී සිදු වුනාක් මෙන්, මේ කිසිවක් පොලිසිය අහෝසි කිරීම සම්බන්ධයෙන් සිතීමට හෝ ඉල්ලීම්වලට හේතුවක් වුනාද?

ශ්‍රී ලංකාවේ විරෝධතාකරුවන් විශේෂයෙන් ශිෂ්‍ය විරෝධතා නිතර පොලිසියේ ප්‍රහාරවලට, කඳුළු ගෑස් සහ ජලප්‍රහාරවලට ලක් වෙනවා. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට දිගු පෝලිම්වල සිටින ජනයා – සමහර විට සජීවී වෙඩි උණ්ඩවලට පවා ලක් වෙන්න පුලුවන්. ලංකාවේ තියෙන හමුදාකරණයේ මට්ටම සලකා බැලිය යුතු කාරණයක්. ආරක්ෂක අයවැය සාපේක්ෂව විශාලයි. අධ්‍යාපනයට, සෞඛ්‍යයට සහ සමාජ සුබ සාධනයට වඩා ඊට වැය කරනවා. හමුදාකරණය අවසන් කිරීමට දිගු කාලයක සිට ඉල්ලීමක් තිබුනත්, යුද්ධය අවසන් වී වසර 10කට පසුවත් එය සිදු වී නැහැ. විශේෂයෙන්ම දෙමළ සහ මුස්ලිම් අය ඉලක්ක කර භාවිතා වුනු, මිනිස්සු සාක්ෂි නැතිව අත් අඩංගුවට ගෙන, අවුරුදු ගණනක් තිස්සේ හිරකර තබා ගත හැකි, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ගැන ගැටළුවක් තියෙනවා. දැන් ඒක සිංහල හෝ රජයට විරුද්ධ විරෝධතාවයේ නියැලෙන ඕනෑම කෙනෙකුට එරෙහි දෙයක් විදියට, බහුතර ප්‍රජාවට එරෙහිව පාවිච්චි කරන්න අරන් තියෙනවා. පොලිසිය අහෝසි කිරීමට ඉල්ලීම් කවදාවත් අප අතර තිබී නැහැ. නමුත් පොලිස් ප්‍රචණ්ඩත්වය, වදහිංසාව, විශේෂයෙන්ම පොලිස් ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය ගැන සාකච්ඡා තිබී තියෙනවා.  

අවලංගු කිරීම ගැන හිතන්න පටන් ගැනීමේ වැදගත් පැත්තක් විදියට ගත්තම, හමුදාකරණය අවසන් කිරීම වඩා හොඳ මතකය කැඳවන්නක් වෙනවා. රෝහිනී හෙන්ස්මාන් මෑත දී ජාකොබින් වෙබ් අඩවියට ලියූ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය ලිපිය, රාජපක්ෂ පක්ෂයේ දේශපාලන-ඉතිහාසමය සන්දර්භය ගැන අනර්ඝ සාරාංශයක් සපයනවා. එම ලිපියේ “ධනේෂ්වර- ප්‍රජාතන්ත්‍රවාදී විප්ලව” යන්නෙන් හෙන්ස්මාන් හඳුන්වන අසමත් වීම් නොතකා, පුළුල් ලෙස ගත් කල, වමේ “නිර්පාක්ෂික සංවිධාන” ශ්‍රී ලංකාවේ සමාජවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා බලාපොරොත්තුවේ සලකුණක් වන බව ඇය පෙන්වා දෙනවා. ඔබේ මතයේ හැටියට, ඔබ ශ්‍රී ලංකාවේ “වම,” විශේෂයෙන් ඡන්ද ඉලක්ක කර ගත් දේශපාලනයෙන් ඔබ්බට විස්තර කරන්නේ කොහොමද? මෙයින් ආර්ථික යුක්තිය සඳහා ස්ත්‍රීවාදී සාමූහිකයේ ප්‍රකාශනයේ ඔබ රජයෙන් ඉල්ලා සිටි පියවර හත ගැන බලාපොරොත්තු දුර්වල වෙනවාද? ඊට සමාන බලාපොරොත්තුවක් මේ නිර්පාක්ෂික සංවිධාන ගැන ඔබට තියෙනවාද?

ශ්‍රී ලංකාවේ වම ගත්තම, ශක්තිමත් කම්කරු ව්‍යාපාරයක් ගැන දිගු ඉතිහාසයක් තියෙනවා. පූර්ව යටත් විජිත සමයේ සිට වතු ක්ෂේත්‍රය ඒ කියන්නේ වැඩියෙන්ම ආර්ථික වශයෙන් සහ දේශපාලනිකව යටපත් කෙරුණු ප්‍රජාව ඉන්න තැනයි, නිදහස ලබා ගත් වහාම ඔවුනට ඡන්ද අයිතිය පවා අහිමි කළා, අදටත් ඔවුනට ඉඩම් අයිතිය නැහැ. කම්කරු ව්‍යාපාරය 1980 ගණන් වෙනකම්ම පශ්චාත්-නිදහස් ඉතිහාසයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කළා. ශ්‍රී ලංකාව නව ලිබරල්වාදී ප්‍රතිපත්ති රෙජීමයකට ගිහින්, අධිපතිවාදී ජනාධිපතිවරයෙක් පත් කළේ 1970 ගණන්වල පසු භාගයේයි. එකල වැඩකරන පන්තියේ ජනතාවට හානිකර වූ ආර්ථික ප්‍රතිපත්තිවලට විරුද්ධව වැඩ වර්ජන සංවිධානය කෙරුණා. ආණ්ඩුව නායකයන් රස්සාවලින් අස් කරලා කම්කරු ව්‍යාපාරය කඩා බිඳ දැම්මා. ඒ ප්‍රහාරයෙන් පස්සෙ කවදාවත් කම්කරු ව්‍යාපාරය ප්‍රකෘති තත්වයට නැවත පත් වුනේ නැහැ. එහි ගරා වැටීමට දායක වුනු තව හේතුවක් වුනේ, නිදහස් වෙළෙඳ කලාපයේ ශ්‍රමය බැහැරින් ලබා ගැනීම නිසා ඇතිවූ අවිනිශ්චිතතාවය, ශ්‍රම රෙජීමයේ වෙනස්කම් ආදියයි. සමහර වමේ පක්ෂ පාර්ලිමේන්තු ක්‍රියාදාමයේ කොටසක් වී තිබෙනවා. එක වමේ පක්ෂයකට පාර්ලිමේන්තුවෙ ආසන යම් ප්‍රමාණයක් තියෙනවා, අනික් ඒවා බොහොම කුඩා පක්ෂයි. දුක හිතෙන කාරණය වෙන්නේ වාර්ගික අර්බුදය සම්බන්ධයෙන් වමේ ආස්ථානය ඉතා ප්‍රගතශීලී එකක් නොවීමයි. ඔවුන් සිංහල බෞද්ධ බහුතරවාදී ජාතිකවාදී ආණ්ඩුවල පැත්ත අරන් කටයුතු කර තිබෙනවා.

රෝහිනී හෙන්ස්මාන් ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියන දේවල් සම්බන්ධයෙන් මම එකඟ වෙනවා. ඒ වගේම ඇය ශ්‍රී ලංකාවේ අර්බුදය ගැන මෑත දී ලියූ ලිපිය ගැන මටත් දෙයක් කියන්න තියෙනවා. “ශ්‍රී ලංකාවේ භින්න වූ ප්‍රාණය: එක් අතකින් සාහසික අධිපතිවාදයක් ද, අනික් අතින් ප්‍රජාතන්ත්‍රවාදය මුරණ්ඩු ලෙස හඹා යෑමක් ද පවතී” කියලා ඇය කියනවා. මේ දුෂ්කර තත්වය තුළ පවා, මම හිතන්නේ ඒක වැදගත් තැනක්. සියල්ලම පැත්තක තිබියදී, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව පැවතිලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් හරහා ශ්‍රී ලංකාව අධිපතිවාදී රෙජීමයන්ගෙන් නිදහස් වෙලා තියෙනවා. නොසෙල්විය හැකි අධිපතිවාදී රෙජීමයක් යැයි අපි සිතූ එකකට විරුද්ධව දැන් විරෝධතාකරුවන් තමන්ගේ කලකිරීම ගැන හඬ නගනවා. ශ්‍රී ලංකාව වගේ රටවලට අනන්‍ය වූ නිදහස් සෞඛ්‍යය සහ නිදහස් අධ්‍යාපනය වගේ ප්‍රතිපත්ති, රට නවලිබරල්වාදී ප්‍රතිසංස්කරණවලට යොමු වීමෙන් පසුවත් නොනැසී ඉතිරි වී තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය සහ වෙනත් දේවල් එක්ක, අධිපතිවාදී නැඹුරුතාවයන් තිබුනා වුනාට, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානය වීම්, සහ ජයග්‍රහණවල අවස්ථාවන් පවා අපි දැක තිබෙනවා කියලා මම හිතනවා. මේක අඛණ්ඩව තබා ගත යුතු දෙයක්.   

මම හිතනවා, මේ ක්‍රියාදාමයේ දී වමේ ව්‍යාපාරය වැදගත් භූමිකාවක් ඉටු කරනවා කියලා. ශක්තිමත් පාර්ලිමේන්තු විපක්ෂයක අවශ්‍යතාවය තියෙනවා. එය නිමැවීමේ දී වම පාර්ශ්වයක් විය යුතුයි. මේ අර්බුදය වසර ගණනාවක් පවතින්නට යන නිසා, නිර්පාක්ෂික වමේ ව්‍යාපාරයටත් එහිදී භූමිකාවක් ඉටු කළ හැකියි. මේ රජය සහ රාජපක්ෂවරුන්ගෙන් අපි නිදහස් වුනාට පස්සෙ අපි මොනවා කරන්න යනවාද වගේ කාරණා ගැන අපි දීර්ඝ කාලීන වශයෙන් හිතන්න පටන් ගත යුතුයි. සමාජ ව්‍යාපාරවල, ස්ත්‍රීවාදී ව්‍යාපාරවල සහ අනෙකුත් ව්‍යාපාරවල භූමිකාව වැදගත් වෙන තැන එතැනයි කියලා මම හිතනවා. දීර්ඝ කාලීනව සැකසෙන කුමන හෝ සැකැස්ම සඳහා සාමූහික, වැඩ කරන ජනතාවගේ ව්‍යාපාර සහ සමූපකාර ආදී කුමන ආකාරයේ හෝ සංවිධානගත වීම් මූලික විය යුතුයි.  

ලංකාවේ පවතින අර්බුදයට විශේෂයෙන්ම අන්තර්ජාතික වමෙන් අඩු අවධානයක් තියෙනවා කියා ඔබ හිතනවාද? අන්තර්ජාතික සහයෝගිතාවයට මාර්ග තියෙනවා නම් ඒවා මොනවාද?

මම ඒකට ඔව් සහ නැහැ කියන දෙකම කියනවා. පසුගිය මාස කිහිපයේ අන්තර්ජාතික මාධ්‍යවල සහ අන්තර්ජාතික කාරකයන් විසින් අවධානය දක්වලා තියෙනවා. අර්බුදය ඇති වී තිබෙන්නේ ශ්‍රී ලංකාව අන්තර්ජාතික වෙළෙඳපොලවල සහභාගිවීම නිසා වෙන අතරම, යෝජිත විසඳුමත් අන්තර්ජාතික ගැලවුම්කරුවෙකු වන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ඉදිරිපත් වී තිබෙනවා. ශ්‍රී ලංකාව බොහෝ දියුණු වෙමින් පවතින ජාතීන් අතර විදේශ ණය ගෙවීමට නොහැකි තත්වයට පත් වීම සම්බන්ධයෙන් පූර්වගාමිකයකු වෙනු ඇතැයි, ඇතැම් ආර්ථික විද්‍යාඥයන් කලින් අනුමාන කර තිබුනා. ඉතිහාසමය වශයෙන්, සර්වජන ඡන්ද බලය ආසියාවේ පළමු වරට හඳුන්වා දුන් ලංකාව, ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටයි. නව ලිබරල්වාදී ප්‍රතිපත්තිවලට ගිය දකුණු ආසියාවේ පළමු වැනි රටත් අපියි. ණය අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පරීක්ෂණ බිමක් වෙනවාද නැද්ද යන්න කියන එක ප්‍රශ්නයක්.

ඒ අතරම, දේශ සීමා නොසලකමින් වැඩකරන ජනතාව, වාමාංශික කණ්ඩායම්, ස්ත්‍රීවාදීන් ආදී කණ්ඩායම් අතර සහයෝගිතාවය ගොඩ නැගීමට උදව් විය හැකි මට්ටමේ අවධානයක් වැදගත් යැයි මම හිතනවා. මම අඩුව දකින්නේ මෙතැනයි. ජාතික දේශ සීමාවලින් ඔබ්බට පැතිරෙන කණ්ඩායම් අතර සම්බන්ධකම් ගොඩ නැගීම සම්බන්ධයෙන්, තවත් සංවාද සිදු කළ හැකියි. මාධ්‍ය අවධානය දිනා ගන්නා ජනප්‍රියවාදී දේවලට වඩා — මේ වගේ සාකච්ඡා — වැඩි වැඩියෙන් සිදු කිරීම සඳහා අවස්ථාව තියෙනවා කියලා මම හිතනවා. ජනප්‍රියවාදී දේවල් දැනටම තිබුනට, ඒවායෙන් එතරම් ප්‍රයෝජනයක් නැහැ.

එහෙනම්, මේ අවසාන ප්‍රශ්නයයි. ගින්න නිවුනාට පස්සෙ ඊළගට වෙන්නේ මොකක්ද? ඔබ නිර්භයව සිහින දකින්නේ නම්, ඔබේ පරමාදර්ශී ඵලය මොකක්ද? එතැනට යෑමට මොකක් කළ යුතුද?

ආහාර අර්බුදය නිසා ඊළග මාස කිහිපය ශ්‍රී ලංකාවට දුෂ්කර එකක් වෙන බව අපි දන්නවා. ඒ ගැන ජනතාවට අනතුරු ඇඟවීමත්, සූදානම් වී සිටීමත් අතිශයින් තීරණාත්මකයි.

ඒ වගේම රටේ අපිට දැකීමට අවශ්‍ය සුවිශාල වෙනස්කම් සම්බන්ධයෙන් සිතීමට මේ අර්බුදය අවස්ථාවක් වෙනවා. අලුත් පරම්පරාවේ තරුණයන් අතර මේ ගැන වැඩි උනන්දුවක්, දැනුවත් වීමක් සහ ප්‍රබෝධයක් තිබීම අප ධෛර්යයමත් කරන සුළුයි. ඔවුන් ඉදිරියේදී ඇති කිරීමට යන ප්‍රතිවිරෝධයේ සහ සමාජ වෙනසේ ස්වරූපයන් දැක ගන්නට ලැබීම වඩා සිත් ගන්නා සුළු වේවි.  

දැන්ම විරෝධතා මැඩ පවත්වාලන ආකාරය ගැන අපි ඕනෑවට වඩා හිතන්න ඕනෙ නැහැ. වැඩ කරන ජනතාව දිගින් දිගටම විවිධ ස්වරූපවලින් ප්‍රතිරෝධය දක්වමින්, වෙනස සඳහා අවස්ථාවන් නිර්මාණය කරමින් කටයුතු කරන දිගු කාලීන ඉතිහාසය මෙහිදී වඩා වැදගත් වෙනවා. මේ දේවල් බොහෝ විට පාලක පන්තිය විසින් විනාස කරනවා. මම හිතනවා මේ අරගල දිගින් දිගටම තියේවි, ඔවුන් නවතින එකක් නැහැ කියලා. අපිට ඒ අරගල මතින් නැගී සිටිය හැක්කේ කොහොමද? වෙනස සඳහා පුළුල් සංධාන ඇති කර ගත හැක්කේ කොහොමද? වැනි කාරණාවලට අපේ ශ්‍රමය සහ ප්‍රයත්න කේන්ද්‍ර විය යුතු බව මගේ හැඟීමයි. මේ ආදී විය හැකි කාරණා සම්බන්ධයෙන් මට බලාපොරොත්තු තියෙනවා.

කොපිලෙෆ්ට් © 2022 ටෙන්ග්ගාරන් ඉන්ටර්නැෂනල්


Posted

in

by

Tags: